Saturday, August 29, 2015

ජේකබ් කොල්ලා පොර වීම සහ බලු වීම

ඕං මෙන්න මේ කියන්න යන කතාන්දරය ජේකබ් කොල්ලාට සිද්ධ උනේ දැනට වසර ශතකයක දහයෙන් එකකට කලින්.ඒ් කියන්නේ කඩ්ඩ හෝඩියේ මුල් අකුර නෙවෙයි බොලං ජේකබ් කොල්ලා සිස්සතවෙ නැමැති මහා විහාග රාජයා සමඟ ෆේස් ටු ෆේස් ෆයිට් එකකට සැට් වෙලා හිටපු කාලේ.දැන් කාලේ නම් ඕකෙන්ලුනේ අම්මලාගේ තාත්තලාගේ ගෞරවය,තත්වය එහෙම මනිනවා කියන්නේ.ඒකනේ ඔය විභාගේ ෆේල් උන මෙලෝ දෙයක් නොතේරෙන පොඩි ඇච්චෝ ඇච්චියොන්ට තෝ අපේ නම්බුව කෑවා කියලා දෙස් දෙවොල් තියන්නේ??



අපේ කාලයේ ඔය තත්වේ ඔච්චර දරුණුවට නැතත් ටිකක් විතර සැරට තිබුනා.ඒක නිසාමද දන්නෙත් නෑ අපේ අම්මයි තාත්තයි ජේකබ් කොල්ලා ගෙදර ඉදන් කිලෝ මීටර් 34ක් විතර දුරින් තිබ්බ ඉස්කෝලෙකට දැම්මේ.හැබැයි දුර ඉස්කෝලෙකට දැම්මත් කවදාවත් මගේ අම්මයි තාත්තයි මට ඕනවට වඩා බලපෑම් කලේ නම් නෑ පැය 24 පුරාම පොතේම එල්ලිලා ඉදපන් කියලා.ජේකබ් කොල්ලා ඒ ඉස්කෝලෙට යන්න කොච්චර අකමැතිද කීවොත් සිස්සත්වෙ කියලා දෙයක් තියෙනවා කියලා දැනගත්ත දවසේ ඉදන් අම්මාට කිව්වේ “අනේ අම්මේ මං කොහොම හරි සිස්සත්වෙ පාස් වෙන්නම්.ඔන්න හැබැයි එතකොට නම් මාව ගමේ ඉස්කෝලෙට දාන්න ඕනේ හොදේ“ කියලාමයි.හැබැයි ජේකබ් කොල්ලා ඒ ඉස්කෝලෙට යන්න අකමැති උනේ තිබුන දුර නිසා මිසක් ඉස්කෝලේ වරදකට නෙමේ.ඒ ඉස්කෝලෙත් රස කතා ටිකක් තියෙනවා.ඒ ටික පසුවට.දැන් කියන්න ආපු කතාව කියලා ඉන්නම්කෝ මුලින්ම.

ජේකබ් කොල්ලා ඉස්කෝලේ ගියේ බර දුරක් තියෙන ඉස්කෝලෙකට උනත් සිස්සතවේ ටියුෂන් කලාස් ගියේ ගම ලගම තිබ්බ ටියුෂන් කඩේකට.ටියුෂන් කඩේ කීවට ඒකේ උගන්නපු ගුරු යුවල නම් මල් තියලා වදින්න වටින ගුරු යුවලක්.ඒ ගුරුවරු දෙන්නට පිං සිද්ද වෙන්න තමයි ජේකබ් කොල්ලට චක්කරේ හරි පුලුවන් වෙලා තියෙන්නේ.ආහ් තව වැදගත් දෙයක්.මේ ගුරු යුවල හස්බන්ඩා ඇන්ඩ් වයිපරේ.දෙන්නම පට්ටම සැරයි.

ඔන්න දැන් කතාව.මුලින් බලු උන හැටි කියනවද පොර උන හැටි කියනවද??

හ්ම්ම්ම්...........

කමක් නෑ මුලින් බලු වෙලා පස්සේ පොර වෙමු.

මේං මේ සිද්දිය උනේ අවුරුදු සීසන් එකේ.දන්නවානේ ඉතින් ඒ කාලෙට එක එක විදියට ඩෝං ගාන ඒවා ගොඩයි කියලා.අපි ටියුෂන් කඩේට ගිහින් ගෙවල් දොරවල් බලා යන්න බස් රථයට ගොඩ වෙන්න ඉන්න තැනම තියෙනවා සුට්ටි කඩ පොඩ්ඩක්.ඕං ඕකේ ඒ දවස් වල තිබුනා චීන පටස්(කට්ටිය දන්නවානේ චීන පටස් ගැන??අර පාට පාට සව් කොළ වල ඔතලා තියෙන්නේ.කොතන හරි ගැහුවම ඩෝං ගාන්නේ.)ආන්න එව්වා.



එදා කොහොම හරි මගේ කරුමෙකට මගේ ලග සල්ලි තිබිලා ජේකබ් කොල්ලා පොර වගේ ගිහින් චීන පටස් 2ක් ගත්තා.ඊටත් පස්සේ පෙරටත් වඩා පොර වගේ ගිහින් සභා තොමෝ ඉදිරියේ පාරේ ගැහුවා ඩෝං ගාලා.හුරේ ඒක ඩෝං ගෑවා.දැන් කට්ටියගේම අවදානය ජේකබ් කොල්ලා වෙත.ඒ පිහිටෙන් උඩ ගිය ජේකබ් කොල්ලා ඊ ලග ඩෝං එකත් ගැහුවා පාරෙම.අයියෝ කරුමෙක මහත.ඒකෙ ඩෝං තියා පුස් සද්දයක්වත් නෑ.යාලුවෝ සැට් එකත් ඒ වෙලේම ඒකට හේතුව හොයන්න කමිටුවක් ස්වයං චන්දයෙන් පත් උනා.කට්ටියගේම ඒකමතික තීරණය වුනේ මේක ඩෝං කියනකම්,චීන පටස් එකට දඩුවමක් වශයෙන් පාරෙ ගහන්න.

දැන් කට්ටියම වධකයෝ වෙලා අහිංසක චීන පටස් එකට ඒකමතිකව ලබා දුන් දඬුවම ක්‍රියාත්මක කරනවා.වධකයෝ සෙට් එක වෙන කිසිම දේකට නැති උනන්දුවකින් පේළියට තමන්ගේ වරෙය එනකම් ජය ‍ඝෝෂා කරමින් ඉන්නවා.ඔය අතරේ හතරවැනි වධකයා උන කෘෘර වධකයා උන රුවන් චීන පටස් එකට අදාල දඩුවම ලබා දුන්නා.ඒත් එක්කම සභා තොමෝගෙන් ගුවන සිසාරා ජය ඝෝෂාවකුත් ලැබුනා.එදින සභා තොමෝ සතුටින් විසිර ගියහ කියලා කීවේ ඒ ජයග්‍රහණයෙන් පස්සේයි.

නෙක්ස්ට් වීක් අපි සැට් එකම වීරයන් සේ කලාස් එක ආරම්භ වෙන තෙක්ම හිටියේ හරිම ආඩම්බරයෙන්.අපේ ඒ ආඩම්බරය තව තවත් වැඩි උනේ අපේ ටීචර් ඇවිත් “ආහ් කෝ ගිය සතියේ පාරේ සද්දේ දාපු අපේ වීරයෝ ටික??“ කියලා අහද්දී තමයි.ඊට පස්සේ ටීචර් “ආහ් ජේකබ් කොල්ලා නේද ඒවා ගත්තේ??නැගිටින්න බලන්න.කෝ එතකොට රුවන්“ එහෙම එහෙම මාද ඇතුලත්ව අහිංසක චීන පටස් එකට දඩුවම් දීමට පෙල ගැසුනු වීරයන් සෙට් එකම නැගිට්ටුවා “එහෙනම් කට්ටියම ඉස්සරහට එන්නකෝ“ කියන ටීචර්ගේ වදන් පෙල හමුවේ නොසැලී කලාස් එකේ ඉදිරියටම ගියා.ගොන්කමක මහත කියන්නේ මේ ගියෙත් පොරත්වයෙන්ම වෙච්ච එකනේ.අපි කලාස් එකේ ඉදිරියේ එක පෙලට හිට ගනිද්දී ටීචර් පටන් ගත්තා අපිට ගෞරව නම්බු නාම පුදන්න.“බොලාගේ තියෙන දැගලිල්ලට ඕක කාගේ හරි අතේ පිපිරුවනම් මොකද වෙන්නේ“ කියලා පටන් ගත්ත නම්බු නාම පිදීම අවසන් වුනේ “කට්ටියම ක්ලාස් එක ඉස්සරහා මිදුලේ අව්වේ දන ගහපිය“ කියන සම්මානයත් එක්කයි.කොහොම හරි එදා ජේකබ් කොල්ලා මුල්ම වතාවට ගුරුවරයෙක්ගෙන් මුලු පන්තිය ඉස්සරහාම දඩුවම් වින්දා.



කලාස් එක ඉස්සරහාට මොණරු වගේ ගිය අපි සෙට් එක පැයකට විතර පස්සේ අපේ දඩුවම් කාලේ නිම කරලා ආවේ අහිංසකම අහිංසක බලු පැටව් රෑනක් වගේ.








ඕන්න ඔහොමයි ජේකබ් කොල්ලා බලු උනේ.කොච්චර උනත් තාමත් මට ඒක මතක් වෙද්දී දැනෙන්නේ සතුටක්.

අපෝ පෝස්ට් එක දිග වැඩි උනා නේද??

එහෙනම් ජේකබ් කොල්ලා පොර වීම පාර්ට් ටූ එකෙන් බලාපොරොත්තු වන්න.

.

Thursday, August 27, 2015

සුපිරි අඩියක් ගසා සුපිරි කෑල්ලක් සෙට් කරගතිමි


ෂැහ් මෙතන මාර පොට් එකනේ අප්පා අඩියක් ගහන්න.ගං ඉවුරෙම තියෙන කුඹුක් ගහේ මුල් ටික ලස්සනට රුක් කලාවක් වගේ තියෙනවා.ඒ මදිවට එතනට එන හුලං පාර.අනික මේ ගම් පලාතේ හොද ඌරු මස් ටිකක් එහෙම බයිටට හොයා ගන්න බැරි වෙන්නේ නෑ.මතක් වෙද්දී කටට කෙලත් උනනවා අප්පා.මොනවද අප්පා මම මේ හිතන්නේ.ඉබ්බා ඉදිකටු හිලෙන් හද බලන්න වගේ බියර් ටින් එකක් බොන්න ලැබෙන මට මොන අඩිද.සෙරෙප්පුවේ අඩිය තමයි ගහන්න වෙන්නේ.

ඈහ් හොද වෙලාවට ඒක මතක් වුනේ.අවුරුදු ගානකට කලින් ගනිපු සෙරෙප්පු කූට්ටමේ අඩියක් නෑ.ඇවිදිද්දි විලුඹට මහ පොළව හිතේ හැටියට උම්මා දෙනවා.මට නම් ඒවා දැනෙන්නෙවත් නෑ.උපන් දා ඉදන් ජීවිතේ වැඩි දවසක් මගේ විලුඹ මහ පොළොවෙන් උම්මා අරන් ඇති අනන්තවත්.ඔක්කොම හරි ලොකුම අවුල තමයි සෙරෙප්පුව ගෙවිලා නිසා ඒකෙ පටි දෙක නිතරම ගැලවෙන එක.ඔක්කෝම හරි කාල දිරවන්නේ නැත්තේ එහෙම උනාම වටේ පිටේ ඉන්න කෙල්ලෝ ඔක්කෝම නක්කලේට හිනා වෙන එකනේ.මාත් යමක් කමක් ඇති පවුලක නෙමේ තුන් වේල කාලා ජීවත් වෙන පවුලක ඉපදුනා නම් මේ වගේ වෙන්නේ නෑනේ.එහෙම උනානම් කීය කීය හරි එකතු කරලා හරි හොද සනීප සෙරෙප්පු කූට්ටමක් ගන්න තිබුනා.

සිරාවටම ටික ටික එකතු කරලා හොද සෙරෙප්පු කූට්ටමක් ගන්න පුලුවන් එකේ එහෙමම සල්ලි ටිකක් එකතු කරන් පාවිච්චි කරපු බයික් එකක් උනත් ගන්න පුලුවන් නේ.හැබැයි ඒකට කාලයක් යාවී.එක අතකින් කාලයක් ගියත් මොකද බයික් එකක් ගන්න පුලුවන්නම්.හැබැයි ගන්න බයික් එක ගන්න ඕනේ සුපිරිම බයික් එකක්.නිපුන්ගේ ගාව තියෙන හොනට් එක නම් පට්ට පට පට.උගේ බයික් එකේ නම් තෙල් වැඩ කරනවා සුපිරියි.ඌ බයික් එක විකුන්න ඕනෙ කියලත් කිව්වා මතකයි.ඌ බොක්කක් නිසා ගානත් ටිකක් අඩු කරලා ගන්න බැරි වෙන එකක් නෑ.මම සල්ලි සෙට් කරගන්නකම් ඌ බයික් එක තියාගනීවිද කියලා තමයි සුවර් නැත්තේ.පොඩි ටෝකක් දැම්මොත් බැරි වෙන එකකුත් නෑ.

බයික් එක ගත්තම නම් දැන් මට නක්කලේට හිනා වෙන කෙල්ලෝ සෙට් එකත් නිල මැස්සෝ සෙට් එක වගේ සෙට් වේවි.කොච්චර කෙල්ලෝ සෙට් උනත් සෙට් කරගන්න ඕනේ සුපිරිම කෙල්ලෙක්.කොල්ලයි බල්ලයි හැම එකාම සුපිරි කියන එකියක් නෙමේ.ගෙන්දගම් පොළවෙ පය ගහලා ඉන්න සුපිරි කෙල්ලෙක්.නෑ නෑ එක්කෝ මුලින් සෙට් කරගන්න ඕනෙ වටේ ඉන්න උන්ගේ ඇහේ කටු ඇනෙන සයිස් එකේ සුපිරි කෑල්ලක්.ඊට පස්සේ ඉතින් හොනට් එකේ එකිවත් දාගෙන යද්දී කාටද ආඩම්බර.හැබැයි ඒකි සිරා කරන්න හොද නෑ.හැබැයි ඉතින් ඒකිගේ ලග මම බලාපෙරෛාත්තු වෙන දේවල් තිබ්බොතින් සිරා කරලා කසාද බදින්න උනත් පුලුවන්නේ.

බව් බව් බ........ව්

"දුහුප් පර බල්ලා.පාරේ යන වල් බල්ලෝත් අපිටමයි බුරන්නේ".

Wednesday, August 26, 2015

ජේකබ් කොල්ලාට මානසික රෝගයක්??

 

ඈහ් ජේකබ් කොල්ලාට මානසික රෝගයක්?? ඇත්තටම මූට පිස්සුද නැත්නම් හැටිද? බ්ලොග පටන් අරන් දවසයි වෙන්නේ ඒ ටිකට මූට පිස්සු හැදිලා.

 

නෑ නෑ ඒක නෙමේ කතාව.මම මේ කියන්න හැදුවේ වෙලාවකට පිස්සු හැදෙන කරමට කරකවලා ඇතෑරියා වගේ දැනෙන පොඩි ෆීලින්ග් එකක් ගැන කියන්නයි.මේ මෙව්වා එකට පිස්සු හැදෙනවා කීවට මොකද වෙලාවකට පොඩි ආතල් එකක් නැතුවමත් නෙමේ.තනියම හිනා වෙන්න එහෙම මරු මෙව්වා එක.කිව්වාට මොකද මට මේ ඊයේ පෙරේදා වෙනකම් ඔය ආතල් එක තිබුනා.ඒ කිව්වේ දැන් ඒ පිස්සුව හොදයි කියලා නෙමේ.අද ඊයේ මට ඒ වගේ මෙව්වා එකක් දැනුනෙ නෑ.( ඊයේ පෙරේදා වෙනකම් දැනිලා අද ඊයේ දැනුනේ නෑ??එතකොට ඊයේ හැබෑවටම මොතද උනේ?? ).

කොහෙද ඉතින් මේ පිස්සු යකා රට වටේ යනවා මිසක් කියන්න ගත්ත කතාව කියන්නේ නෑනේ.ඉවසන්න පිංබතා ඉවසන්න පිංබතා.ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය එහෙම කීව එකාගෙ කට කෑවත් මදිය කියලා අපේ මුතුන් මිත්තෝ කීවෙ නිකම් නෙමේනේ.

ඇති ඇති හොදටම ඇති.ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ.කට්ටියම ඉඩ තියෙන තියෙන හැටියට හතර පස් පලකින් වාඩිවුනානම්.

මම මේ කියන්න හැදුවේ,මට හිටපු ගමන් දැනෙනවානේ මේ දේ මීට කලින් මට වෙලා තියෙනවා කියලා හරි මම මේ සිද්ධිය දැකලා තියෙනවා කියලා හරි.අනේ මං දන්නේ නෑ එහෙම හිතුනම උන් හිටි තැන් අමතක වෙලා ගිහින් පිස්සු වගේ හැදෙනවා.හැබැයි කරුමේ කියන්නේ එහෙම හිතෙන මිලි තප්පරෙන් පස්සේ වෙන දේවල් කිසිම දෙයක් ගැන මතක නෑ.හැබැයි ඒ ඔක්කොටම වඩා කරුමේ කියන්නේ ඊට පස්සේ වෙන දේවල් ගැන හිතෙන්නේ "ආහ් ඔව්මයි මේක මෙහෙමමනේ උනේ" කියලා.

එක දවසක් මම උ.පෙ. කරන දවස් වල පොඩි නංගි කෙනෙක් ඇවිත් මගෙත් එක්ක යාලු වෙන්න කැමතිද කියලා ඇහුවා.(ඒ කතාව පස්සේ දවසක)ඒ වෙලාවේ සිද්ද උන දේවල් ගැනත් මට දැනුනේ මම ඒ සිද්දිය කලින් ඒ විදියටම අත්දැකලා තියෙනවා වගේ.මම ඒක මගේ හොදම යාලුවාට,චමෝදාට කිව්වා ඒ බං මට ඔය සීං කෝන් එක කලිනුත් ඔය විදියටම වෙනවා දැනිලා තියෙනවා කියලා.මේකි අනිත් පැත්තටම කිව්වානේ අඩෝ බං මරුනේ.උඹට සාත්තර වරමක් හම්බුවෙලාද කොහෙද කියලා.අපොයි කියපු ගොන්කමට කට වහගෙන හිටියා.ආයෙත් ටික වෙලාවකින් මේකි මට කතා කරලා කියනවා ඒ බං මම අර සිද්දිය කල්පනා කලා මට හිතෙන්නේ ඕක මානසික ලෙඩක්ද කොහෙද කියලා.

ඊට පස්සේ මට හිතන්න උනේ ඇත්තටම මට පිස්සුද?නැත්නම් චමෝදට පිස්සුද?නැත්නම් ඕක සාමාන්‍ය දෙයක්ද? කියලා තමයි.ඇත්තටම මොකක්ද සීන් එක??

Tuesday, August 25, 2015

ජේකබ් කොල්ලාගේ මුල්ම පියවර



අම්මෝ ඇති යාන්තම්.කල්ප කාලාන්තරයක් තිස්සේ හීන දැක දැක ඉදලා ඉදලා යාන්තම් බ්ලොගක් ලියන්න පටන් ගත්තා.අවුරුදු 4-5ට කලින් ඉදන් දැකපු හීනයක් තමයි මේ හැබෑවුනේ.කල්පයක් තිස්සේ ඉදන් මේක පටන් ගැනිල්ල කෙසේ වෙතත් නැකත් බලලා කේන්දර හදලා හෙන ප්ලෑනක් ගැහුවා.කරුමෙ කියන්නේ කොච්චර හොඳ නැකත් තිබුනත් මගේ ග්‍රහයා එක්ක ඒ නැකත සෙට් නොවුන එකමනේ.නැතුව ජේකබ් කොල්ලාගේ කම්මැලිකමට බ්ලොගක් නොලියා අනිත් අය ලියන ඒවා කියවා කියවා බාලගිරි දෝසේ වගේ අද නෙමේ හෙට කියලා කල් දැම්මේ ඕං ජේකබ් කොල්ලා නම් නෙමේ හොදද.

හැබැයි ජේකබ් කොල්ලා ඔය බාලගිරි දෝසෙටත් ප්‍රතිකර්මයක් හොයා ගත්තා.ඒ තමයි නැකත් නොබලාම වැ‍ඩේට එන්ටර් වීම.(ඕවා ලේසි පහසුවෙන් කියලා දෙන ප්‍රතිකර්ම නෙමේ ඕං).මේ වගේ බ්ලොගක් පටන් අරන් මගේ ආශාව සංසිදවා ගන්න ඕන කියලා ආයෙත් ජේකබ් කොල්ලාට හිතුනා මේන් මේක ටයිප් කොරන්න පටන් ගන්න විනාඩි ගනනාවකට කලින්.ආයෙත් මොනාද ජේකබ් කොල්ලා නෙමේ මේ පාර බාලගිරි දෝසෙ ඉස්සරහට දැම්මේ.ගත්තා ලැප උකුලට ගැහුවා ඩොන්ගලේ හදාගත්තා පොඩි ප්‍රොෆයිල් කෑල්ලක්,පටන් ගත්තා ටයිප් කොරන්න මෙන්න මේ මගේ මංගල මෙව්වා එක.දැන් මගේ ඒකායන පැතුම මේ බ්ලොග හදා වඩා ගෙන හිත සතුටින් ජීවත් වෙන්න තමයි.

හැබැයි අපි නැග්ගොත් තැබිලි ගහෙත් ත්‍රිබලක් කියන්න වගේ මේක පටන් ගත්තාට මොකද මේකට එව්වා මෙව්වා කරන එක ගැන නම් මගේ දැනුම සුවල්පයයි.අපේ මේ බ්ලොග් ලෝකෙ ඉන්න ජේෂ්ඨ උතුමන්ලා හා උතුමනීලාගෙන් මට ඒකට පොඩියට ලොකු සප් එකක් ඕනේ.

අදට ඇති වගේ.හිතේ තියෙන මෙව්වා එකට ටයිප් කරන්න වචන එන්නෙත් නෑ හොදේ.මේ වචන කොහේ ගිහින්ද මන්දා.කමක් නෑ කමක් නෑ අදට ඇති.ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා තමයි අපේ මොන්ටිසෝරි ටීචර් කියලා දුන්නේ.ඒක නිසා අදට ඇති.

ප.ලි. -  වැරදි ඇතොත් කියා දෙන්න ආසයි මං හදාගන්න.